Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම September 30, 2009

Filed under: පරණ දේවල්,stories — madhawa.h @ 9:15 am


කට්ටිය බලයි මොකද්ද බොලේ මේ කියල. 
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තියෙන ප්‍රවාදයක්. අහගන්නකො එහෙනම්. 
මේක රාහුල හාමුදුරුවො පොඩි කාලෙ වෙච්චි දෙයක්. 

තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමා වීදාගම මෛත්‍රී හාමුදුරුවො. මහණ උනාට මේ පොඩි හාමුදුරුවන්ගෙ දඟ වැඩ නම් තාම එහෙමමයි. 
ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවො දවසක්දා බෝ මළුව අමදිනකොට කවුරු හෝ දායකයෙක් දමල ගිය චූටි පූස් පැටියෙක් දැක්ක. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් හරි සතුටුයි, මොකද කළේ කන්න බොන්න දීල හදා වඩා ගත්ත.  
හැබැයි ඉතින් ලොකු හාමුදුරුවො මේකට කැමති නෑ, මොකද මේ පූස් පැටියගෙන් ලොකු හාමුදුරුවන්ට හරියට කරදර, හැමතැනම රිංගනව, හැමතැනම ජරා කරනව, හාමුදුරුවන්ට භාවනා කරන්නත් නෑ හරියකට. කාලයක් යනකොට ලොකු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකින එකත් තිත්ත උනා. ගුරු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කරුණාවෙන් කියල බැලුව, මොන. පොඩි හාමුදුරුවන්ට ගානක්වත් නෑ. 
තව ටික කාලයක් යනකොට ගුරු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකිනකොට හොඳටම තරහ යනව. අන්තිමට තරහ ඉවසගන්න බැරුව මොකද දන්නවද ගුරු හාමුදුරුවො කළේ? කතා කළා පොඩි හාමුදුරුවන්ට. කිව්ව මෙන්න මෙහෙම, 
“රාහුල, නුඹගේ බළල් පැටවා.. අදම උපාසක උන්නැහට දීපන්. එහෙම නැතිව හේ එහෙම බණ මඩුවේ වසුරු දමා තිබුණොත් ඒ වසුරු සේරම උඹට කව්වනවා”.
අනේ අපෝයි වෙච්චි දෙයක්. ගුරු හාමුදුරුවො එහෙම කිව්වම පොඩි හාමුදුරුවන්ට හොඳටම බය හිතුන, ලොකු හාමුදුරුවො එහෙම කිව්වෙ එවෙලෙ තිබ්බ තරහට උනත් ඒක එහෙමම වෙනව කියල පොඩි හාමුදුරුවන්ට හොඳටම විශ්වාසයි. 
ඒ උනාට මොකද කරන්නෙ, ඌව යවන්නත් දුකයි, ඒ මදිවට කොච්චර කළත් ඌ පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙමයි. මොකද කරන්නේ කියල දැන් හාමුදුරුවො කල්පනා කළා. 
ආව හොඳ අදහසක්. පොඩි හාමුදුරුවො උපාසක තැනට කියල හකුරු මුලකුයි, තල මුලකුයි ගෙන්න ගත්ත. ඒව කලවම් කරල හොඳින් අඹරල ගුලි හදල තියල නිදාගත්ත. උදේ පාන්දරම අවිදි වෙච්ච පොඩි හාමුදුරුවො, බණ මඩුවෙ තිබ්බ සියළු වසුරු අයින් කරල අර හදාගත්තු ගුලි වසුරු වගේ පේන්න තිබ්බ. 
මොකද උනේ කියල හිතා ගන්න පුළුවන්නෙ? උදේ අවදි උනු ගුරු හාමුදුරුවො ගියා බලන්න, පොඩි නම කිව්ව විදිහට කරලද කියල. දැක්ක දෙයින් ගුරු හාමුදුරුවො හොඳටම කෝප උනා. 
මොකද්ද දැක්කෙ, වෙනදටත් වඩා වසුරු බණ මඩුව ඇතුළෙ. ගුරු හාමුදුරුවො කතා කලා පොඩි හාමුදුරුවන්ට, බැන්න හොඳට, අණ කළා ඔක්කොම වසුරු ටික කන්න. අනේ ඉතින් පොඩි හාමුදුරුවොත් දොළොස් අවුරුද්දක් හාමතේ හිටිය වගේ ඔක්කොම වසුරු ටික වැළඳුව.  
“හපෝයි, මේක නම් මනුස්ස පුතෙක් නෙමෙයි කියල හිතමින් ලොකු හාමුදුරුවො එතනින් ඉවත් වෙලා ගියා.
එතනින් ඒ පරිච්ඡේදය ඉවරයි.

 

ජූම්ලා සම්බන්ධ ප්‍රශ්නයක්. September 27, 2009

Filed under: sinhala,today — madhawa.h @ 4:34 pm


මම මේක සිංහල යුනිකොඩ් ගෲප් එකෙයි, සිංහල බ්ලොග්කරුවන්ගේ ගෲප් එකෙයි දැම්ම, නමුත් තාම පිළිතුරක් නම් ලැබුනෙ නෑ. මම ජූම්ලා වලින් සයිට් එකක් හැදුව (http://madhawa.lkwebhost.com). හැදුවෙ හොස්ටිං එකත් එක්ක එන auto installer එක පාවිච්චි කරල. 
මට මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව, සිංහල වලින් මොකුත් දාන්න බෑ. සිංහලෙන් මොනව හරි ටයිප් කරල ඒක සේව් කරපු ගමන් සිංහල අකුරු ටික ????? ???? ටිකකට හැරෙනව.  
මේකෙ තීම් එකත් මමම හදපු එකක්. ඒකට ඉස්කෝලපොත ෆොන්ට් එකත් දැම්ම, css එක වෙනස් කරල, ඒත් හරිගියේ නෑ. හරිම ප්‍රශ්නයක්. 
මම එතනම හදපු වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකටත් මේ ප්‍රශ්නෙම ආව (ඒකත් කළේ auto installer එකෙන්: http://madhawa.lkwebhost.com/blog/), නමුත් ඒක ඉවත් කරල. මමම හොස්ට් කළාම එකේ අවුල හරි ගියා. මට මේකට විසඳුමක් තාම හොයාගන්න බැරි උනා. තාම හොයනව.

 

කොටස් වෙළඳපළ ආයෝජනයේ වාසි

Filed under: share market — madhawa.h @ 6:29 am


මීට ඉස්සෙල්ල මේ ගැන කෙටියෙන් කියල තියෙනවනෙ. දැන් ටිකක් සවිස්තරව කියන්න හිතුව. කොටස් වෙළඳපළින් ප්‍රතිලාභ ලැබිය හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනව. 1. ලාභාංශ (Dividends) 
2. ප්‍රාග්ධන ලාභ (Capital gains)

මොනවද මේ ලාභාංශ කියන්නෙ?  
ලාභාංශ කියන්නෙ යම් සමාගමක් ලබන ලාභයෙන් කොටසක් එම සමාගමේ කොටස් හිමිකරුවන් අතර බෙදා දීම. වෙනත් වචන වලින් කිව්වොත් ලාභාංශයක් කියන්නෙ සමාගම ලැබූ ලාභයේ කොටස් හිමියාගේ කොටස.
එම වසර තුළ ලැබූ ලාභය අනුව, සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, එම වසරට අදාළ ලාභාංශ අනුපාතය තීරණය කරනව. එය මූල්‍ය (Cash dividends) හෝ කොටස් (Share dividends) වියහැකියි. හැබැයි වැදගත් දෙයක්, සමාගම, එහි කොටස් හිමියන්ට ලාභාංශ ලබා දීම අනිවාර්ය නැහැ, සහ ඔවුන් එයට බැඳී නැහැ. ඔවුන්ට තීරණය කළ හැකියි, ලාභයන් කොටස් හිමියන් අතරේ බෙදාහරිනවද නැතිනම් යළි එය සමාගම සඳහාම යොදවනවද කියල. ලාභාංශ තමයි, තමුන්ගේ, එම සමාගම පිළිබඳ අයිතියට බලපෑමක් නොවී, ලාභ ලැබිය හැකි එකම ආකාරය.

XD – Date (Ex – Dividend Date)
මේක වැදගත්. තමුන් යම් සමාගමක ලාභාංශ ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන මෙම දිනයට පෙර, එම සමාගමේ කොටස් අයිතිය ලාබාගෙන, එම දිනයේදීත් එම අයිතිය පවත්වාගත යුතුයි. මෙම දිනයේදී ඔබ එම සමාගමේ කොටස් හිමියෙක් නම් මුලින් සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාභංශ සඳහා ඔබ සුදුස්සෙකු වෙනවා. සමාගම පකාශයට පත් කර ඇති ඊළඟ දිනයේදී ඔබට අදාළ ලාභාංශ එම සමාගම විසින් ඔබේ නිවසටම චෙක්පතක් මගින් එවනවා.

උදා: 
ඔබ X‍YZ සමාගමේ කොටස් 1000ක් රු. 12 බැගින් මිලදී ගන්නව. 
එම සමාගම තීරණය කරනව, එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසකට ශත 50 බැගින් ලාභාංශ ලබා දීමට. ඔවුන් XD date එක වශයෙන් 2009.04.05 තීරණය කරනව. ලාභාංශ ගෙවන දිනය 2009.04.11 ලෙසත් ප්‍රසිද්ධ කරනවා. 
ඔබ එම දිනය වන විට එම කොටස් වල හිමිකාරීත්වය පවත්වා ගතහොත් ඔබට 2009.04.11 දිනයේදී 0.50 * 1000 = රු.500 ක ලාභාංශයක් හිමි වෙනවා.

එතකොට ප්‍රාග්ධන ලාභ කියන්නෙ?
තමා සතු වත්කමක වටිනාකම කාලය සමඟ වැඩි වන විට එයින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභයක් ලෙස හැඳින්වෙනවා. හබැයි මෙම ලාභය ලබන්න නම් එම වත්කම විකිණිය යුතුයි. මෙතනදි මේක වෙන්නෙ ,මෙහෙමයි. ඔබ යම් සමාගමක කොටස් ගන්නව යම් මිලකට. ටික කාලයක් යනවිට එහි මිල ඉහළ යනව. එතකොට ඔබට එතැන, ප්‍රාග්ධන ලාභයක් තිබෙනව. හැබැයි එම ලාභය ලබන්න ඔබ ඔබ සතු කොටස් දැන් වෙළඳපළ මිලට විකිණිය යුතු වෙනවා. එවිට ඔබේ ප්‍රාග්ධන ප්‍රමාණය ඉහළ යනවා. උදා: ඉස්සෙල්ල එකෙන්ම ගමුකෝ. කොටස් 1000ක් ගත්තනෙ රු.12ට. ඔන්න එම සමාගමේ කොටස් මිල ඉහල යනව 13.25ට. ඔබට දැන් එම කොටස් 1000 වික්කොත් ප්‍රාග්ධන ලාභයක් ගන්න පුළුවන්. කීයක්ද? 1000 * (13.25 – 12.00) = රු. 1250 තේරුනා නේද? තව ටිකක් නගිනකම් තියා ඉන්නත් පුළුවන්, නැත්තම් දැන්මම විකුණල ඒ 1250 ගන්නත් පුළුවන්.

ඉහත ක්‍රමය තමයි, මෙයින් ඉපයීම් කරන්න පුළුවන් ඉක්මන්ම හා ලේසිම ක්‍රමය.

දැන් කියන්නම් මෙතන තියෙන වැදගත්ම දේ. මේ ක්‍රමයෙන් ලාභය වගේම පාඩුවක් වෙන්නත් ඉඩ තියෙනව. හදිස්සියෙ එම කොටසක මිල පහළ ගියොත් මොකද වෙන්නෙ? ඔබට පාඩුවක් වෙනව. බය වෙන්න එපා, එහෙම වෙන්නෙ ඔබ ඒ කොටස් ටික දැන් තිබෙන මිලට වික්කොත්නෙ, අවස්ථානුකූලව එම පාඩුව විඳගනිමින් ඒවා විකුණනවද, නැත්තම් ආපහු වැඩි වනතෙක් තබා ගන්නවද කියල තීරණය කරන්න ඔබට පුළුවන්.

මම තව දෙයක් කිව්ව මතකයි නේද? 
ප්‍රාග්ධන ලාභ මගින් මේ ලැබෙන ආදායම සම්පූර්ණයෙන් රජයේ ආදායම් බදු වලින් තොරයි. ඔබ මෙම ලබා ගන්නා ආදායමට කිසිම විදිහකින් ආදායම් බදු ගෙවිය යුතු නෑ.

මේ ප්‍රධාන වාසි වලට අමතරව කොටස් හිමියන්ට තවත් අමතර වාසි තිබෙනව. ඒව ඊළඟ ලිපියෙන් කතා කරමු.

කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.


 

අද දවස නම් හරිම කාර්යබහුල දවසක්. September 25, 2009

Filed under: today — madhawa.h @ 4:44 pm



කිව්ව වගේම අද නම් හරිම කාර්යබහුලයි. උදේ එක ලෙක්චර් එකකට ගියා. ඊළඟ ලෙක්චර් එකට යන්න ලෑස්ති වෙනකොට සන්ජය (අර මම කිව්වෙ මාත් එක්ක JIY වැඩ වලට එකතු වෙලා ඉන්න යාළුව.) ඇවිල්ල කිව්ව අන්න ,මීගොඩ සර් කතා කළා, දැන් යන්න ඕනෙ එයාගෙ ඔෆිස් එකට JIY එකෙ වැඩ ටිකක තොරතුරු ටික ගන්න කියල. ඉතින් මොකද කරන්නෙ. සඳුද තියෙන ප්‍රැක්ටිකල් එකේ ලැබ් ශීට් ටික බෙදන එක යාළුවෙක්ට පවරල 10 – 12 ලෙක්චර් එක කට් කරල (මේ සෙමෙස්ටරයෙ පළවෙනි ලෙක්චර් කට් කිරිල්ල.) ගියා කොල්ලුපිටියට (එහෙ තමයි මීගොඩ සර්ගෙ ඔෆිස් එක තියෙන්නෙ, එයා විදුලි බල මණ්ඩලයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ජ්‍යේෂ්ට ඉංජිනේරුවනෙ.). ඒ තොරතුරු අරන් ආපහු කැම්පස් එනකොට 1.15 යි. සන්ජයට ප්‍රැක්ටිකල් එකට යන්නත් පරක්කු උනා. ඊට පස්සෙ තමා යුද්දෙ පටන් ගත්තෙ. අපේ ඩිපාට්මන්ට් එකට ලබන සතියෙ සඳුද, අඟහරුවාද එනව IESL එකෙන්, පරික්ෂාවකට. ඒකට මේ සතියෙ අපේ කස්ටිය ලෑස්ති වෙනව. ඉතින් ඒ සම්බන්ධ වැඩ වලට අපේ ඩිපාර්මන්ට් එකේ එක එක වැඩ. හැමෝම ඒකට ලෑස්ති වෙන්න ඕනෙ. ළමයින් එක්ක එයාලගෙ සාකච්ඡාවක් තියෙනව, ඒකෙදි මොකද කරන්න ඕනෙ කියල ඊයෙ සර්ල කිව්ව. 
ඊට පස්සෙ එයාල අපේ ලැබ්ස් වල රවුමක් යනවලු, ඒ නිසා ප්‍රක්ටිකල්ස් තුනක් දාල තියෙනව සඳුදට. (සඳුද කොහොමත් ප්‍රැක්ටිකල් තියෙන දවසක්) ඒ ප්‍රැක්ටිකල් කරන ළමයි කවුද කියල තීරණය කරන්න හුඟ වෙලාවක් ගියා, මොකද කිව්වොත් මේ පාර විෂයන් තෝරා ගැනීම් කරන්න පුළුවන් නිසා, ළමයි එක එක විෂයන්නෙ තෝරගෙන තියෙන්නෙ, ඒ නිසා කාලසටහන හදන එක නම් පට්ටම ගේමක්, සර් ළමයින්ටත් අඬ ගහල ඒක යන්තම් හදා ගත්ත. එතන තවත් ප්‍රශ්නයක් තිබ්බෙ, ඊයෙත් සමහරු තමුන් කරන විෂයන් වලට ලියාපදිංචි වීම් වෙනස් කරල නිසා කාලසටහනේ වෙනස්කම් කරන්න වෙච්චි එක. ඒකත් ඉවර කරගත්ත යන්තම්. 
ඒ අස්සෙම අපේ වසරෙ ළමයින් හුඟක් තාම මේ අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වෙලා නෑ, ඒක කරන්න ළමයින්ගෙ record books ටිකයි, අදාළ ෆෝම්ස් ටිකයි එකතු කරගත්ත, ඔක්කොම එකතු නොවුනු නිසා ඒකත් කරන්න වෙන්නෙ සඳුදම තමා.
තව අපේ මැඩම් කෙනෙක් කිව්ව අපේ බැච් එකේ ළමයින්ගෙ උසස් පෙළ ප්‍රතිඵල ටික එකතු කරල දෙන්න කියල. ඒකත් යන්තම් කරල දුන්න (ඒත් ඔක්කෝම දෙන්න බැරි උනා, මොකද ඒ වෙනකොටත් සමහරු ගෙවල් බලා ගිහින්). ඒ අතරෙම අපේ අවසන් වසරේ කරන ව්‍යාපෘතිය ගැන අපේ උපදේශක විදිහට ඉන්න අදිකාරි සර් එක්ක කත කරන්න අදට දාගත්තනෙ ඊයෙ. ඒකට යන්නත් උනා, මගෙ අනිත් සගයා ගෙදර ගියා. මම් තනියම ගිහින් සර් එක්ක ඒකත් කතා කරගත්ත. කොහොමෙන් කොහොම හරි ඔය වැඩ ටික ඉවර වෙනකොට 3ත් පහු වෙලා. මම දවල්ට කාල නෑ ඒ වෙනකොටත්. ඉතින් කැන්ටිමට ගිහින් සැන්ඩ්විචස් 2ක් කාල, කිරි බෝතලයක් ගැහුව. ඒකට නිකං මොකද්ද උනා වගේ, ලේසි නෑ 500ml ක් නෙ. ඒ අස්සෙ තව අවුලක්. මමත් එක්ක මගෙ යාළුවෙක් ගිහින් ලැප්ටොප් එකක් ගත්තනෙ. ඒකට යන්තම් ඊයෙ XP දැම්ම, නමුත් ඒකට හරියන drivers නෑ, උන් දීල තියෙන්නෙත් Vista Drivers. ඉතින් මොකද කරන්නෙ. ලැප නෙට් කනෙක්ට් කරල drivers හෙව්ව, කොහෙද එකක්වත් නෑ. යාළුවෙක් තව විසඳුමක් දුන්න, Windows 7 දැමීම. ඉතින් මම ඒ වැඩේ තව යාළුවෙක්ට සෙට් කරල දීල මම ගෙදර එන්න ආව. ඒ 4.30ට. යන්තම් ගෙදරට අදිය තිබ්බම තමා හිතට සැන සිල්ලක් ලැබුනෙ. ඔයාල බලයි මූට මොකද මෙච්චර වැඩ කියල, ඇයි ළමයිනේ මමනෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ ගෲප් එකේ රෙපා. 😦 (Level 4 – Group Representative)

 

කොළඹ කොටස් වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න CDAX පාවිච්චි කරන්න September 22, 2009

Filed under: CDAX,share market — madhawa.h @ 12:14 pm


CDAX කියන්නෙ මොකක්ද කියල කට්ටිය දැන් දන්නවනෙ? ආපහු කියමුකො, Colombo Direct Access Xchange (CDAX) කියන්නෙ පරිගණක මෘදුකාංගයක්. එය හරහා ඔබට පුළුවන් කොළඹ කොටස් වෙළඳපළේ ද්විතීය වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න තැරැව්කාර සමාගමේ කිසිවෙකුගේ සහයක් රහිතව.



ඊටපස්සෙ? 
ඊටපස්සෙ ඉතින් මොනවද, ඔයා කොටස් වෙළඳපළ ඇතුළෙ ඉන්නව වගේ තමා. වෙන හැම trade එකක්ම ඔයාට, ඒකෙන් ඒ වෙලේම පෙන්නනව. (real time trading)

ඉතින් මට මොකෝ. 
මොකද, ඔබ මිලදී ගත්තු කොටස් වල මිල ඉහල ගියොත්, ඔබට කැමති නම් එවෙලෙම ඒ කොටස් විකිණීමේ හැකියාව ඔබට තිබෙනව. ඔබට ගැළපෙන සමාගමක / වාසියක් ගන්න පුළුවන් සමාගමක කොටස් වල මිල පහළ ගියොත් , එවෙලෙම ඔබට එම සමාගමේ කොටස් මිලට ගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්. විකුණන්න හෝ මිලට ගන්න අවශ්‍ය කොටස් මිලක් සළකුණු කරල පෝලිම් ගස්සල තියන්නත් පුළුවන්. (Queue) ඕනෙ නම් ඉදිරි දවසකදි ඒක වැටෙන්න. එක එක කොටස් සම්බන්ධ අතීත තොරතුරු මෙමගින් ලබා ගන්න පුළුවන්.  
උදා: කොටස් වල මිල උච්ඡාවචනය වෙලා තියෙන්නෙ කොහොමද, කොපමණ කොටස් විකිණිලා තියෙනවද වැනි දේවල්.
මේවට අමතරව තව පහසුකම් තිබෙනව මෙම මෘදුකාංගය තුළ. ඔබට මෙම පහසුකම ගන්න දැනට ක්‍රම දෙකක් තිබෙනව.  
1. මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන් (CDAX Pro) 
2. ඔන්ලයින් CDAX අතුරු මුහුණත මගින් (CDAX Net) 
තුන්වන ක්‍රමය මග එනව, ඔබේ ජංගම දුරකතනයට CDAX Mobile ස්ථාපනය කර ගැනීම මගින්.
ඒක දාගත්තට පස්සෙ අන්තර්ජාල පහසුකම තිබෙනව නම් ඔබ කොටස් වෙළඳපළ තුළට පිවිසෙන්නට සූදානම්. ඔබේම පරිශීලක නමක් හා ඔබේම මුරපදයක් භාවිතා කරල ඔබට පුළුවන් ඔබේ ගිණුමට හා වෙළඳපළ තුළට ඇතුළු වෙන්න. (මෙම විස්තර ඔබගේ තැරැව්කාර සමාගමෙන් ලබා දෙනව. ඔබට පසුව පුළුවන් ඔබේ මුරපදය වෙනස් කර ගන්න.)
CDAX වෙබ් අඩවියට පිවිසෙන්න මෙතන කොටන්න.
මතකයිනෙ මෙම පහසුකම දැනට දෙන්නෙ තැරැව්කාර සමාගම් 7ක් පමණයි. ඒ කවුද කියල දැනගන්න 2 වන ලිපිය කියවන්න. ඒ සඳහා මෙතන කොටන්න.

කොටස් වෙළඳපළ පිළිබඳව මූලික අදහසක් නැත්තම් පරණ ලිපි කියවන්න.
 

මාත් ගියා අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න. September 20, 2009

Filed under: පරිවර්තන,bmich,stories — madhawa.h @ 4:33 pm



BMICH හිදී 11 වන වරට මෙවරත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන් පැවැත්වෙනවා. ඊයෙ තමයි ආරම්භ උනේ, 27 වෙනිදා වෙනකම් මේක පැවැත්වෙනව.


ඔන්න ඉතින් මමත් ගියාලු අද ඒක බලන්න. පරණ යාළුවො ටිකකුත් සෙට් කරගෙන තමයි ගියේ. පරණ යාළුවො කිව්වට එකෙක්වත් පරණ නෑ, මම, මගෙ නංගි, අපේ අක්ක, උදිත, නිසුපා, දිමුතු සහ මනෝරි අක්ක. තව අපේ මිතුරියකට කතා කළා, අවාසනාවකට වගේ එයාට මේ දවස් වල විභාගයක්, දවස පරක්කු කළොත් අපේ අක්කගෙන් බැනුම්, එයාට එන්න වෙන්නෙ නෑ කියල. අර යාළුව නම් එයාගෙ කැම්පස් යාළුවො එක්ක යනව කිව්ව.

කොහොම හරි උදේ 9 වෙනකොට අපි BMICH එකේ. රෑ වැටුනු වලේ දවලුත් වැටෙමින්, ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ටිකට් ගත්ත. (විශ්ව විද්‍යාල සිසුන්ට ඇතුළුවීම නොමිලේ.) කමක් නෑ, ඒ සල්ලි ශිෂ්‍යත්ව අරමුදලකටනෙ යන්නෙ. හවස 5 වෙනකම් හිටිය. මගෙ නංගි, අක්ක, නිසුපාට නම් හවස් වෙනකොට එපා වෙලා හිටියෙ. 

කොහොමහරි මහලොකු මුදලක් අරන් ගියෙ නෑ, මේ දවස් වල ආර්ථික අවපාතයක්නෙ. පොත් කිහිපයක් ගත්ත. 
ලියොන් ගාර්ෆීල්ඩ් ගේ “ස්මිත්”
“තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට ජනප්‍රවාද”
චින්ගීස් අයිත්මාතොව් ගේ “සමුගනිමි ගුල්සාරි”
අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර් ගේ “අවිවේකී රූමතිය”
මේරි ශෙලී ගේ “ෆ්‍රැන්කන්ස්ටයින්”
ජෑන් ක්නැපර්ට් ගේ “ගෝහා”
ඔය කිව්ව පොත් තමයි ගත්තෙ. මේ අමුතු නම් තිබ්බට ඔක්කොම සිංහල හොඳේ. 

මගේ චින්ගීස් අයිත්මාතොව් ගේ සියළු පොත් එකතු කිරීමේ ඉලක්කයට තව ඒකක එකකින් ලන් උනා සමුගනිමි ගුල්සාරි සමඟ. එය පමණමයි මට සොයා ගතහැකි වූයේ චින්ගීස් අයිත්මාතොව්ගේ පොත් වලින් මගෙ ලඟ නැති. ගුරු ගීතය එහෙම නම් වැහි වැහැල වගේ හැමතැනම තිබුනා.
ෆ්‍රැන්කන්ස්ටයින්, මමයි නංගියි දෙන්නම කියවල තිබෙනව, නමුත් නංගිට ඕනෙ කිව්ව නිසා ගත්ත.

උදිත නම් ලොකු පොත් සෙට් එකක් ගත්ත.
සමහරවිට මම අපේ කැම්පස් එකේ යාළුවො එක්කත් යන්න ඉඩ තියෙනව. බලමුකෝ. අද සෙනඟ නම් හිටිය හුඟාක්. සමහර වෙළඳ කුටි තුළ විශාල තදබදයකුත් තිබ්බ.
ගන්න ආස පොත් නම් එමටයි, මට සුවිප් එකක් ඇදුන නම් මම ලොරියකට ඇති වෙන්න පොත් ගන්නව. කොහෙද එච්චර වාසනාවක්.
 

වසරේ කනිෂ්ඨ නව නිපැයුම්කරුවා තේරීමේ තරඟය September 19, 2009

Filed under: Chandula padmasiri,IESL,innovations,ISEF,Junior new Inventor,NSF — madhawa.h @ 6:48 pm


මේ වසරේත් කනිෂ්ඨ නව නිපැයුම් කරුවා තේරීමේ තරඟයේ තේරීම් කටයුතු, පසුගිය මාස 2 තුළදී සිදු උනා. මේ සඳහා ලංකාව පුරා විසිරී ඇති පාසල් වල සිටින සිසු දරු දැරියන් සහභාගි උනා. අද තමයි එහි අවසාන වටයේ තරඟ පැවැත්වුනේ. අවසන් වටය සඳහා තේරුනු සිසුන් 70 දෙනෙකුගේ නව නිපැයුම් අද විනිශ්චයට භාජනය උනා. ඒවායින් හොඳම 25 මෙහිදී තෝරා ගැනෙනවා. එම 25න් 1,2 හා 3 ස්ථාන තෝරා ගැනෙනවා. ඒවා තෝරා ගැනීමේ සාකච්ඡාව හෙට උදයේ පැවැත්වීමට නියමිතයි.
හරි, දැන් ඒ ඇති, සමහරු නම් දන්නව ඇති, නමුත් සමහරු බලනව ඇති මොකද්ද බොලේ මේ කියල. හරි හැමෝටම දැනගන්න කියන්නම්කෝ.

“වසරේ හොඳම කනිෂ්ඨ නව නිපැයුම් කරුවා” (Junior Inventor of the Year – JIY) කියන්නෙ ජාතික ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka – IESL) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරඟයක්. මෙය පාසල් සිසු දරුවන් ඉලක්ක කරමින් පැවැත්වෙන්නක්. ළමුන්ගේ නිර්මාණාත්මක චින්තනය දියුණු කිරීමට උනන්දු කරවන වැඩසටහනක්. ඔයාල “Techno” ප්‍රදර්ශනය නරඹල තිබෙනවනම් දැකල ඇති “Junior Inventor of the Year” කියල ප්‍රදර්ශන කුටියක්. ඒ අර කිව්ව අවසන් 25 දෙනාගේ නිපැයුම් ප්‍රදර්ශනය කිරීමට සැකසූ ප්‍රදර්ශන කුටිය.
1 වසරේ සිට 13 වසර දක්වා ඕනෑම සිසුවෙකුට සිසුවියකට මෙම තරඟය සඳහා සහභාගිවිය හැකියි. අවශ්‍ය වන්නේ නව නිපැයුමකට සරිලන නව්‍ය වූ අදහස් තිබීම පමණයි. එය භෞතික තත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනව නම් තවත් හොඳයි.

දැන් කියන්නම් විශේෂම දේ. අර කිව්ව 25 දෙනාගෙන් තෝරා ගන්න 10 දෙනෙක් ජාතික විද්‍යා පදනමෙන් (National Science Foundation – NSF) යෝජනා කරන තවත් 10 දෙනෙකුත් සමඟ කරන තවත් තරඟයකින් පසු ඉන් තෝරාගන්න දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරඟයට (International Science and Engineering Fair – ISEF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට අවස්ථාව ලැබෙනව. එම තරඟයට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නෙ අපි හැමෝම දන්න Intel ආයතනය.

අර මුලින් කිව්ව 25 දෙනාගේ ඉතිරි අයට, වටිනා සහතිකපත් වගේම මුදල් ත්‍යාගත් හිමි වෙනවා. දැන් කට්ටිය බලයි, මම එතන මොන මඟුලක් කළාද කියල. මම ඒ සමඟ පසුගිය අයුරුදු 2ක් සහභාගි උනා. එහි සංවිධාන කටයුතු වලට හා විනිශ්චයන් සඳහා සහය වීම තමයි මම කරන්නේ. මා සමඟ අපේ විශ්ව විද්‍යාලයේ තවත් මගේ මිතුරෙක් (සන්ජය විපුල) මේ සඳහා සහය වෙනවා.

ඉතින් අද මොකද උනේ කියල ටිකක් කියන්නම්කෝ. අද උදෙන්ම මම එතනට ගියා. (IESL එකට, එතන තමා විනිශ්චය කටයුතු කෙරුනෙ.) අර කිව්ව අන්තිම 70 දෙනා එම ස්ථානයට පැමිණිලා හිටියා. (දෙතුන් දෙනෙක් නම් ඇවිල්ල හිටියෙ නෑ, සමහරු පරක්කු වෙලත් ආව.) 
උදෙන්ම ළමුන් සඳහා දේශන කිහිපයක්, පසුගිය වසරේ ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ පැවතුනු අන්තර්ජාතික තරඟයට සහභාගිව අදාළ ක්ෂේත්‍රයෙන් (Electrical and Mechanical Engineering) තෙවන ස්ථානය දිනාගත්තු සිසුවාගෙන් (චන්දුල පද්මසිරි- කොළඹ ආනන්ද විද්‍යාලය ) ඉදිරිපත් කිරීමක්, සහ සහතික පත්‍ර හා ශිෂ්‍යත්ව බෙදා දීමක් සිදු කෙරුනා.
විශේෂ ආරාධිත අමුත්තා උනේ IESL හි සභාපති වරයා. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති තුමනුත් මෙම අවස්ථාවට සහභාගි උනා. එතුමන්ගේ කතාව නම් ඉතාම හරවත් හා හැමදාම වගේ සිත්ගන්නා සුළු උනා.

ඉන්පසු තේරීම් කටයුතු සිදු උනා. හවස 6 පමණ වනතෙක් මෙම කටයුතු සිදු උනා. විටෙක සිසුන් හා විනිශ්චය මණ්ඩලයන් අතර සම්බන්ධීකරණ කටයුතු කරමිනුත් විටෙක විනිශ්චය මණ්ඩලය තුළ සිට විනිශ්චයන් සඳහා සහය වෙමිනුත් මම එම අවස්ථාවේදී ක්‍රියා කළා. මේ සඳහා මගෙ මිතුරු සන්ජය විපුල ත් සහභාගි උනා.

වැදගත් දෙයක් කියන්න ඕනෙ. මෙවර වෙනදාට වඩා ළමුන්ගේ නිර්මාණ වල අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබුනා, ඒක බොහෝවිට මෙවර සහභාගි වූ ළමුන්ගේ නොතේරුම්කම නිසා සිදුවූවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහොමයක් ළමුන් මේ “නව නිපැයුමක්” කියන වචනයේ තේරුම හරි හැටි දන්නෙ නෑ. හුඟක් අය හිතන්නෙ නව නිපැයුමක් කියන්නෙ මොකක් හරි හදන එක කියල, ඒක මේ ලෝකෙ තිබුනා හෝ නැතා. නමුත් නව නිපැයුමක් කියන්නෙ අළුත්ම නව්‍යමය අදහසකට. ඒ වගේ දෙයක් මීට පෙර , මේ ලෝකය තුළ නොතිබිය යුතු දෙයක්. ඒක හුඟාක් සරළ හෝ සංකීරණ අදහසක් වෙන්න පුළුවන්. එම අදහස නිර්මාණාත්මක ලෙස ලෝකයාට ප්‍රයෝජනවත් ලෙස කුමන හෝ ආකාරයකින් ඉදිරිපත් කරන්න හැකියාව ඇත්නම් එතනදී නව නිපැයුමක් එළි දැක්වෙනවා.
සරළම උදාහරණයක් ගමු. ඔබ පාවිච්චි කරන පැන්සල කෙළවරේ තියෙන මකනය. එහෙම දෙයක් මුලින් තිබුනෙ නෑ, නමුත් එහෙම අදහසක් ඇවිල්ල ඒක ක්‍රියාත්මක කළේ චීනයේ හිටපු පුංචි ගෑණු ළමයෙක්, නමුත් ඇය එම පුංචි අදහස නිසා මිලියන ගානක් ඉපයුවා. සංකීරණ එකක් ගමු, සාපේක්ෂතාවාදය. ඇල්බට් අයින්ස්ටයින් එම අදහස නිසා නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලැබුව.
ඔබ නව නිපැයුමක් කරනකොට ඒකට පාට පාට බල්බ්, සංකීරණ පරිපථ, ලොකු ලොකු සමීකරණ ඇතුළත් විය යුතු නෑ, අවශ්‍ය වෙන්නේ නව්‍යමය අදහසක් පමණයි. මේක මේ ලිපියේ සඳහන් වුනු කනිෂ්ඨ නව නිපැයුම්කරුවන්ට විතරක් නෙමෙයි, සියළුම දෙනාට පොදුයි.
මේ ඉන්නෙ අර මම කිව්ව සිසුවා, චන්දුල පද්මසිරි.
මේ ඔහු ඇමරිකාවේදී ගත්තු ඡායාරූපයක්. එහි මැද සිටින්නේ JIY හි ප්‍රධාන සංවිධායක ජ්‍යේෂ්ඨ ඉංජිනේරු මීගොඩ මහතා. අනෙක් සිසුවා JIY 2008 හි දෙවන ස්ථානය ලබා ගත්තා.
මෙහි සිටින අනෙකුත් සිසුවියන් දෙදෙනා ජාතික විද්‍යා පදනමෙන් යෝජනා වුනු දෙදෙනෙක්.
මෙම තරඟය පැවැත්වුනේ 2009 මැයි මස, ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේදී.
ඔබත් කැමති නැද්ද මේ වගේ වෙන්න? (මෙම ප්‍රශ්නය පාසල්ල් සිසුන්ට පමණයි, නමුත් අනිත් අයටත් නව නිපැයුම් කරන්න තහනමක් නෑ හොඳේ.)