Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

ජම්මෙද, පුරුද්දද? October 6, 2009

Filed under: පරණ දේවල්,stories — madhawa.h @ 2:29 am


මේ තවත් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ප්‍රවාදයක්. මතකයිනෙ අර මම ඉස්සෙල්ල කිව්ව පූස් පැටිය? එදා ගෝලයට පැරදුනාට පස්සෙ ගුරු හාමුදුරුවො හැසිරුනේ පරෙස්සමෙන්, නමුත් ගෝලයව පරද්දන්න ක්‍රමයක් හිත හිතා.
මේ පූස් පැටිය නිසා වෙච්චි දෙයින් පස්සෙ ගුරු හාමුදුරුවො පූසා එක්ක මිතුරුව ඉන්න හිතුව. අන්තිමට ගෝලයට වඩා ගුරු හාමුදුරුවො එක්ක මේ පූසා මිතුරු උනා. ගුරු හාමුදුරුවන්ටත් මේකව නැතිවම බැරි උනා, දැක්කෙ නැති උනාම පාළු හිතුන.
මූව නිකං තියාගෙන ඉන්න එකේ මුගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව ගුරු හාමුදුරුවො, මේ පූසට, හාමුදුරුවො පොත් කියවනකොට ලන්තෑරුම අල්ලන් ඉන්න පුරුදු කලා. පූසත් ඉක්මන්ටම වැඩේ අල්ල ගත්ත. කොච්චර හොඳට පුරුදු උනාද කිව්වොත් හාමුදුරුවො රාත්‍රියෙදි පොත් රාක්කයෙන් පොතක් ගත් වහාම පූසා ලන්තෑරුම අතට ගත්ත.
ඉතින් ටික දවසක් යනකොට ගුරු හාමුදුරුවො හිතුව මේකෙන් ගෝලයව පරද්දන්න මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න. 
දවසක් ගුරු හාමුදුරුවොයි, ගෝල නමයි කතා කරකර ඉන්නකොට ගුරු හාමුදුරුවො පොඩි නමගෙන් ඇහුව, 
“රාහුල, ජම්මෙද ලොකු පුරුද්දද?” කියල. 
රාහුල පොඩි හාමුදුරුවො කිව්ව, “ජම්මෙ” කියල. 
“නෑ නෑ පොඩි නම, වඩා ලොකු පුරුද්ද” කියල ආපහු ගුරු හාමුදුරුවො කිව්ව. කොහොම හරි දෙන්න ටික වෙලාවක් මේ ගැන වාද කර කර හිටිය. 
අන්තිමට ලොකු හාමුදුරුවො කිව්ව, 
“හරි. මම අද රෑට පෙන්නනම්කො පුරුද්ද වඩා ලොකු බව”.

ඉතින් රෑ ගුරු හාමුදුරුවො පොඩි නමත් එක්ක කාමරයට ගිහින් පොත් රාක්කය ලඟට ගිහිල්ල පොතක් අරගත්ත. මතකයිනෙ පූස? ඔන්න ඌත් ඉතින් පුරුදු පරිදි ලන්තෑරුම අතට අරන් මේසයට නැග්ග.
රාහුල පොඩි හාමුදුරුවො දිහා බලපු ගුරු හාමුදුරුවො, 
“දැක්කද පොඩි නම? පුරුද්ද තමා ලොකු” කියල කිව්ව. 
මඳ සිනහවක් පාපු පොඩි නම, කාමරයේ තිබුන මී කූඩුවක හිටපු මීයෙක් එලියට අරන් හාමුදුරුවන්ගෙ මේසය උඩින් අර පූසට පේන්න තිබ්බ. පරම්පරා ගානක් තිබ්බ ජන්ම ගතිය මතක් උනු පූසා, ලන්තෑරුම පැත්තකට විසි කරල මීය පස්සෙ පන්නන්න ගත්ත. එදා ඉඳන් ලොකු හාමුදුරුවන්ට පුරුද්ද ලොකු උනේ නෑ.

 

ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම – 2 October 2, 2009

Filed under: පරණ දේවල්,stories — madhawa.h @ 1:27 pm


පසුගිය කොටසින්,  
පොඩි හාමුදුරුවො ඔක්කොම වසුරු ටික කෑවනෙ. මතකයිනෙ. 
[මුල් කොටස කියවන්න.]
—————————– 
අද එතැන් සිට,

පස්සෙන්ද එළි උනා. ලොකු හාමුදුරුවො වෙනදා වගේම පංසල් වත්තෙ සක්මන් කරනව. පොඩි හාමුදුරුවොත් මොකුත් නූන වගේ මළුව ඇමදුව. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො මොකද කරන්නෙ කියල විමසිල්ලෙන් හිටිය. 
ලොකු හාමුදුරුවො වෙනද වගේම බණ මඩුවට වැඩිය. මොනවද දැක්කෙ, කිහිප පොලකම බළල් වසුරු. ඒ උනාට අද ලොකු හාමුදුරුවො තරහ ගත්තෙ නෑ. ඉස්සෙල්ල දවසෙ ගෝල නම හරිම ආසාවෙන් බළල් බෙටි වැළඳුවෙ මොකක් හරි රසක් නිසා වෙන්නැති කියල හිතපු ගුරු හාමුදුරුවො වසුරු පිඬක යන්තමට ඇඟිල්ල ඔබල දිවග තියල බැලුව.
ඔන්න ඕක වෙනකම් තමා පොඩි හාමුදුරුවො හැංගිලා බලාන හිටියෙ. විදාගම හාමුදුරුවො ඇඟිල්ල දිවග තියන සැනින් රාහුල හාමුදුරුවො මොකද දන්නවද කළේ?
“අපේ නායක හාමුදුරුවො බළල් බෙටි කෑවෝ !!!” 
කියල මහ හඬින් කෑ ගැහුව.
උදේ පාන්දර රාහුල හිමියන්ගෙ කෑගැසීම ඇහුනු උපාසක මහතුන් සහ ඇබිත්ත කොලුව, මේ මොන විපත්තියක්ද කියල දුවගෙන ආව. ඒ උනාට කාටවත් රාහුල හාමුදුරුවො කිව්ව එක හරියකට තේරිලා තිබුනෙ නෑ.
පොඩි හාමුදුරුවන්ගෙ හඬින් බය වෙච්චි ලොකු හාමුදුරුවො, බයයි ලැජ්ජාවයි හංගගෙන හෙමිහිට බණ මඩුවෙන් ආවාස ගේ පැත්තට ගියා.

[මුල් කොටස කියවන්න.]

 

ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම September 30, 2009

Filed under: පරණ දේවල්,stories — madhawa.h @ 9:15 am


කට්ටිය බලයි මොකද්ද බොලේ මේ කියල. 
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තියෙන ප්‍රවාදයක්. අහගන්නකො එහෙනම්. 
මේක රාහුල හාමුදුරුවො පොඩි කාලෙ වෙච්චි දෙයක්. 

තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමා වීදාගම මෛත්‍රී හාමුදුරුවො. මහණ උනාට මේ පොඩි හාමුදුරුවන්ගෙ දඟ වැඩ නම් තාම එහෙමමයි. 
ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවො දවසක්දා බෝ මළුව අමදිනකොට කවුරු හෝ දායකයෙක් දමල ගිය චූටි පූස් පැටියෙක් දැක්ක. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් හරි සතුටුයි, මොකද කළේ කන්න බොන්න දීල හදා වඩා ගත්ත.  
හැබැයි ඉතින් ලොකු හාමුදුරුවො මේකට කැමති නෑ, මොකද මේ පූස් පැටියගෙන් ලොකු හාමුදුරුවන්ට හරියට කරදර, හැමතැනම රිංගනව, හැමතැනම ජරා කරනව, හාමුදුරුවන්ට භාවනා කරන්නත් නෑ හරියකට. කාලයක් යනකොට ලොකු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකින එකත් තිත්ත උනා. ගුරු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කරුණාවෙන් කියල බැලුව, මොන. පොඩි හාමුදුරුවන්ට ගානක්වත් නෑ. 
තව ටික කාලයක් යනකොට ගුරු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකිනකොට හොඳටම තරහ යනව. අන්තිමට තරහ ඉවසගන්න බැරුව මොකද දන්නවද ගුරු හාමුදුරුවො කළේ? කතා කළා පොඩි හාමුදුරුවන්ට. කිව්ව මෙන්න මෙහෙම, 
“රාහුල, නුඹගේ බළල් පැටවා.. අදම උපාසක උන්නැහට දීපන්. එහෙම නැතිව හේ එහෙම බණ මඩුවේ වසුරු දමා තිබුණොත් ඒ වසුරු සේරම උඹට කව්වනවා”.
අනේ අපෝයි වෙච්චි දෙයක්. ගුරු හාමුදුරුවො එහෙම කිව්වම පොඩි හාමුදුරුවන්ට හොඳටම බය හිතුන, ලොකු හාමුදුරුවො එහෙම කිව්වෙ එවෙලෙ තිබ්බ තරහට උනත් ඒක එහෙමම වෙනව කියල පොඩි හාමුදුරුවන්ට හොඳටම විශ්වාසයි. 
ඒ උනාට මොකද කරන්නෙ, ඌව යවන්නත් දුකයි, ඒ මදිවට කොච්චර කළත් ඌ පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙමයි. මොකද කරන්නේ කියල දැන් හාමුදුරුවො කල්පනා කළා. 
ආව හොඳ අදහසක්. පොඩි හාමුදුරුවො උපාසක තැනට කියල හකුරු මුලකුයි, තල මුලකුයි ගෙන්න ගත්ත. ඒව කලවම් කරල හොඳින් අඹරල ගුලි හදල තියල නිදාගත්ත. උදේ පාන්දරම අවිදි වෙච්ච පොඩි හාමුදුරුවො, බණ මඩුවෙ තිබ්බ සියළු වසුරු අයින් කරල අර හදාගත්තු ගුලි වසුරු වගේ පේන්න තිබ්බ. 
මොකද උනේ කියල හිතා ගන්න පුළුවන්නෙ? උදේ අවදි උනු ගුරු හාමුදුරුවො ගියා බලන්න, පොඩි නම කිව්ව විදිහට කරලද කියල. දැක්ක දෙයින් ගුරු හාමුදුරුවො හොඳටම කෝප උනා. 
මොකද්ද දැක්කෙ, වෙනදටත් වඩා වසුරු බණ මඩුව ඇතුළෙ. ගුරු හාමුදුරුවො කතා කලා පොඩි හාමුදුරුවන්ට, බැන්න හොඳට, අණ කළා ඔක්කොම වසුරු ටික කන්න. අනේ ඉතින් පොඩි හාමුදුරුවොත් දොළොස් අවුරුද්දක් හාමතේ හිටිය වගේ ඔක්කොම වසුරු ටික වැළඳුව.  
“හපෝයි, මේක නම් මනුස්ස පුතෙක් නෙමෙයි කියල හිතමින් ලොකු හාමුදුරුවො එතනින් ඉවත් වෙලා ගියා.
එතනින් ඒ පරිච්ඡේදය ඉවරයි.

 

මාත් ගියා අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න. September 20, 2009

Filed under: පරිවර්තන,bmich,stories — madhawa.h @ 4:33 pm



BMICH හිදී 11 වන වරට මෙවරත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන් පැවැත්වෙනවා. ඊයෙ තමයි ආරම්භ උනේ, 27 වෙනිදා වෙනකම් මේක පැවැත්වෙනව.


ඔන්න ඉතින් මමත් ගියාලු අද ඒක බලන්න. පරණ යාළුවො ටිකකුත් සෙට් කරගෙන තමයි ගියේ. පරණ යාළුවො කිව්වට එකෙක්වත් පරණ නෑ, මම, මගෙ නංගි, අපේ අක්ක, උදිත, නිසුපා, දිමුතු සහ මනෝරි අක්ක. තව අපේ මිතුරියකට කතා කළා, අවාසනාවකට වගේ එයාට මේ දවස් වල විභාගයක්, දවස පරක්කු කළොත් අපේ අක්කගෙන් බැනුම්, එයාට එන්න වෙන්නෙ නෑ කියල. අර යාළුව නම් එයාගෙ කැම්පස් යාළුවො එක්ක යනව කිව්ව.

කොහොම හරි උදේ 9 වෙනකොට අපි BMICH එකේ. රෑ වැටුනු වලේ දවලුත් වැටෙමින්, ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ටිකට් ගත්ත. (විශ්ව විද්‍යාල සිසුන්ට ඇතුළුවීම නොමිලේ.) කමක් නෑ, ඒ සල්ලි ශිෂ්‍යත්ව අරමුදලකටනෙ යන්නෙ. හවස 5 වෙනකම් හිටිය. මගෙ නංගි, අක්ක, නිසුපාට නම් හවස් වෙනකොට එපා වෙලා හිටියෙ. 

කොහොමහරි මහලොකු මුදලක් අරන් ගියෙ නෑ, මේ දවස් වල ආර්ථික අවපාතයක්නෙ. පොත් කිහිපයක් ගත්ත. 
ලියොන් ගාර්ෆීල්ඩ් ගේ “ස්මිත්”
“තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට ජනප්‍රවාද”
චින්ගීස් අයිත්මාතොව් ගේ “සමුගනිමි ගුල්සාරි”
අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර් ගේ “අවිවේකී රූමතිය”
මේරි ශෙලී ගේ “ෆ්‍රැන්කන්ස්ටයින්”
ජෑන් ක්නැපර්ට් ගේ “ගෝහා”
ඔය කිව්ව පොත් තමයි ගත්තෙ. මේ අමුතු නම් තිබ්බට ඔක්කොම සිංහල හොඳේ. 

මගේ චින්ගීස් අයිත්මාතොව් ගේ සියළු පොත් එකතු කිරීමේ ඉලක්කයට තව ඒකක එකකින් ලන් උනා සමුගනිමි ගුල්සාරි සමඟ. එය පමණමයි මට සොයා ගතහැකි වූයේ චින්ගීස් අයිත්මාතොව්ගේ පොත් වලින් මගෙ ලඟ නැති. ගුරු ගීතය එහෙම නම් වැහි වැහැල වගේ හැමතැනම තිබුනා.
ෆ්‍රැන්කන්ස්ටයින්, මමයි නංගියි දෙන්නම කියවල තිබෙනව, නමුත් නංගිට ඕනෙ කිව්ව නිසා ගත්ත.

උදිත නම් ලොකු පොත් සෙට් එකක් ගත්ත.
සමහරවිට මම අපේ කැම්පස් එකේ යාළුවො එක්කත් යන්න ඉඩ තියෙනව. බලමුකෝ. අද සෙනඟ නම් හිටිය හුඟාක්. සමහර වෙළඳ කුටි තුළ විශාල තදබදයකුත් තිබ්බ.
ගන්න ආස පොත් නම් එමටයි, මට සුවිප් එකක් ඇදුන නම් මම ලොරියකට ඇති වෙන්න පොත් ගන්නව. කොහෙද එච්චර වාසනාවක්.
 

වැරැද්ද අන් අයට පැටවීම – සිනහවේ ගණිතය August 29, 2009

Filed under: stories — madhawa.h @ 4:06 am



මේක විදුසර පත්‍රයේ “තර්ක ශාස්ත්‍රය” සම්බන්ධ ලිපියකින් උපුටා ගත්තු කතාවක්.


පෙරේරා මහතා තම උපැස්‌ යුවල ගලවා බැලුවේ තමා දෙසට වේගයෙන් පැමිණෙන්නේ කවුරුන් ද යන්න ය. ඒ තම බෑනා බව ඔහු හැඳිනගත්තේ ය. බෑනා ගේ පෙනුම එතරම් ගුණ නැති බව ඔහුට පෙනිණ.

“හලෝ පුතා මොකද මේ කේන්තියෙන් වගේ?” පෙරේරා මහතා ඇසුවේ ය.

“අංකල් මම තවත් බලා ඉන්නේ නෑ… අංකල් දන්නව නේ මම රස්‌සාව කරන්නේ දුර බැහැර පළාතක. මට හදිස්‌සියේ නිවාඩුවක්‌ ලැබුණා. ඉතින් මම නෝනට, ඒ කියන්නේ ඔබතුමා ගේ දුවට ටෙලිග්‍රෑම් එකක්‌ යෑව්වා මම ගෙදර එනව කියලා. ඉතින් මම අද ගෙදර ආවා. අංකල් දන්නව ද මම මොනව ද දැක්‌කේ කියල? කවුද මනුස්‌සයෙක්‌ එයත් එක්‌ක සාලේ හිටියා….. මම බලබලා ඉන්නේ නැහැ. කෙළින් ම දික්‌කසාද නඩුවක්‌ දානව.”

“පොඩ්ඩක්‌ ඉන්නකො පුතා කලබල නැතුව. මම දැන් ගිහින් දුව එක්‌ක කතා කරන්නම්”

පෙරේරා මහතා වැඩි වේලාවක්‌ නො ගොස්‌ ම ආපසු පැමිණියේ ය.

“පුතා නිකරුණේ කලබල වෙලා තියෙන්නේ…..වැරැද්ද දුව ගේ නෙමෙයි නෙ. එයාට ඔයා එවපු ටෙලිග්‍රෑම් එක හම්බ වෙලා නැහැ නෙ.”

මෙහි දී පෙරේරා මහතා කරන්නේ කුමක්‌ ද? තම බෑනා ගේ ප්‍රකාශයෙහි ඇති ව්‍යාකූලභාවය සූක්‌ෂම ලෙස ප්‍රයෝජනයට ගෙන ඔහු වැරැදි බව පෙන්වයි. බෑනා තමා ගේ ප්‍රකාශය මීට වඩා පරෙස්‌සම් සහිත ව කළේ නම් පෙරේරා මහතාට එබන්දක්‌ කිරීමට ඉඩක්‌ නැති වනු ඇත.


කවුද හරි, කවුද වැරදි ?
😀 😀 😀

 

පොඩි කතාවක්. July 5, 2009

Filed under: stories — madhawa.h @ 1:46 pm

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිමි ළමය ලඟ ලස්සන වීදුරු බෝල ටිකක් තිබ්බ. පිරිමි ළමය කිව්ව, එයා ලඟ තියෙන ඔක්කොම වීදුරු බෝල ටික, ලොසින්ජර වලට හුවමාරු කරමු කියල. ගෑණු ළමය කැමති උනා.

පිරිමි ළමය තමුන් ලඟ තිබ්බ ලස්සනම වීදුරු බෝලෙ තියාගෙන ඉතුරු ටික ගෑණු ළමයට දුන්න. ගෑණු ළමය පොරොන්දුවෙ හැටියට ඔක්කොම ලොසින්ජර ටික දුන්න.
එදා රෑ, ගෑණු ළමය හොඳට නිදාගත්ත, ඒත් පිරිමි ළමයට නින්ද ගියෙ නෑ. එයා කල්පනා කලේ තමුන් කලා වගෙ ගෑණු ලමයත් ලොසින්ජර හැංගුවද කියල.


ගත යුතු දේ:

යම් සම්බන්ධයකදි 100% ක් විශ්වාසය දුන්නෙ නැත්තම් ඔබ හැම වෙලේම ඉන්නෙ සැකයෙන්, අනිත් පුද්ගලයා එයාගෙ 100% ඔබට දීලද කියල. මේක ආදරය, සේව්‍ය-සේවක, වගේ හැම සබඳතාවයකටම හරියනව. ඔබ හැම වෙලේම ඔබේ 100% දුන්නොත් තමයි ඔබට නිවී සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්.